April 23, 2014

බස් ජනසතුව | Nationalization of Bus Service.

බස් ජනසතු කෙරේ

(වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්, ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ලංගම සේවකයෙක්ද වන "බන්ධුල ආර් ගුල්වත්ත" මහතා විසින් ලියන ලද ලිපියකි.)

1957 වසර උදා වූයේ 1956 ජන බලවේගයේ අරමුණු මල්ඵල ගන්වමිනි. අපි පෙර ලිපියක කුඹුරු පනත ගැන තොරතුරු සඳහන් කළෙමු. වමේ ව්‍යාපාරය ආරම්භ වූ තිහේ දශකයේ පටන් සියලු ධනෝපායන මාර්ග ජනතා සන්තක කළ යුතුය යන සමසමාජ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ බස්‌ රථ සමාගම් සියල්ල ජනසතු කළ යුතු යෑයි ප්‍රබල ජන මතයක්‌ 1957 වසර ආරම්භයේදී ම පෙළ ගැස්‌විණි.

මේ අවධිය වන විට හොරණ ප්‍රදේශයේ මඟී බස්‌ ධාවනය සිදු වූයේ බස්‌ රථ සමාගම් හතරක ඒකාධිකාරයක්‌ යටතේ ය. පානදුර මෝටර් ට්‍රාන්ස්‌පෝර්ට්‌ සමාගම (ඡගඵගඔ)ල ඔමිනි බස්‌ රථ සමාගම (ගාමිණී කොම්පැනිය), මුණගම බස්‌ රථ සමාගම, අතුර බස්‌ රථ සමාගම වශයෙනි. ඉදිරි කාලයේදී බස්‌ රථ සමාගම් සියල්ල ජනසතු කරන බවට රාවය පැතිර යත්ම බස්‌ රථ හිමියන්ගේ  කඩිගුල ඇවිස්‌සුණේ ය. 

පානදුර බස්‌ රථ සමාගමේ අයිතිකරු වූයේ එවකට පරලෝ සැපත් බුත්තල පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ලියෝ ප්‍රනාන්දු මහතා ය. ගාමිණී බස්‌ රථ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරය හෙබවූයේ හිටපු වැල්ලවත්ත - ගල්කිස්‌ස පා. ම. ඇස්‌. ද ඇස්‌. ජයසිංහ මහතා ය. රට පුරාම බස්‌ රථ හිමියෝ රජයට එරෙහිව තනි කෙළින් සිට ගත්හ. 
එහෙත් මහජන මතය වඩාත් ප්‍රබල වූහ. 
ඉදිරියේදී තවත් ප්‍රගතිශීලී පනත් රාශියක්‌ ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබුණි. 
කුඹුරු පනත ඉදිරිපත් කර තිබුණි.
මෙම පසුබිම මත ලංකාවේ ඡන්ද කොට්‌ඨාස රාශියක එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ප්‍රචාරක රැස්‌වීම් මාලාවක්‌ දියත් කෙරිණි.



ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බස්‌ ජනසතු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ විවිධ මතවාදයන් රට පුරා ව්‍යාප්ත විය. බස්‌ සමාගම් හිමියෝ මගී ජනතාවගේත් බස්‌ සේවකයන්ගේත් ප්‍රසාදය ලබා ගැනීම සඳහා විවිධ උප්පරවැට්‌ටිවල නිරත වුහ. මාර්ග අංක 120 හොරණ - කොළඹ මාර්ගයේ ධාවනය සඳහා ගාමිණී බස්‌ කොම්පැනිය මගින් ඉන්ටර්නැෂනල් බස්‌ 04 ක්‌ ම ධාවනයට යෙදවීය. එහෙත් ගාමිණී බස්‌වල ධාවනයට යොදන ලද මග දිගට කැඩිලැක්‌ බස්‌ රථවල තත්ත්වය ද සුළුවෙන් හෝ කිව යුතු වෙයි.



බස්‌ රථ ආසන ලෑලිවලට සීමා විය. රියෑදුරු හා කොන්දොස්‌තර දෙදෙනාගෙන් දිස්‌ වූයේ ඕනෑම අවස්‌ථාවක වලියට සූදානම් වූ පොර කකුළන් දෙදෙනකුගේ ස්‌වභාවයයි. මඟියා අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියේය. පිජාමා හෝ පලයකාට්‌ සරමත් කමිසයත් හැඳ ගත් කොන්දොස්‌තර බොහෝ විට පලයකාට්‌ ලේන්සුවක්‌ හැඩයකට හිසේ ගැට ගසා ගෙන තිබුණේය. සමහර රියෑදුරන් පලයකාට්‌ ලේන්සුවක්‌ බෙල්ල වටේ ගැට ගසා ගැනීම විශේෂ විලාසිතාවක්‌ කර ගෙන තිබිණි. දෙදෙනාගේම ඉණෙහි උල් පිහිය වැරදුණේ නැත. ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථාන ද බස්‌ කොම්පැනිකාරයන් සමඟ බැඳී සිටි නිසා මඟියා අන්ත අසරණ තත්ත්වයට පත් වූ වග කිව යුතු නොවේ.

කාබන් පැන්සල කනත් හිසත් අතර රඳවාගෙන ටිකට්‌ පොත කිහිල්ලේ හිර කරගෙන කටින් ටිකැට්‌ කඩා අතට මුදල් ගැනීම පුරුද්දක්‌ විය. ටිකැට්‌ පරීක්‍ෂාවට එන චෙකර්ට පොත දෙන්නේ ශත පනහේ මුදල් නෝට්‌ටුවක්‌ පිටු අතර තබමිනි.
සියලු දෝෂයන් ඉන් භංග වේ.

රියෑදුරු අසුනට උඩින් ඇති සීනුවේ ලණු පොට ඇද්ද සැනින් 'ඩාං' ගා ශබ්දයක්‌ නැගේ.
දෙවරක්‌ වැදුණොත් මගියාගේ කන පුපුරා යන්නට පහරක්‌ ගහන්නට කොන්දොස්‌තර මාරයා සූදානම් ය. හෝල්ට්‌ නැත.
මඟී ආවරණ (සෙල්ටර්) නැත.
කහ ඉරි නැත.
දොරටු දෙකක්‌ නැත.
ඉන්ටර්නැෂනල් බස්‌ හතරේ ද පිටුපස දොරක්‌ තිබුණා දැයි මට හරියට මතකයක්‌ නැත.


බස්‌ රථ සේවකයාගේ රැකියාව ද ස්‌ථිර නැත.
උදේ පාන්දරම සේවයට නොගියොත් එදාට සේවයක්‌ නැත.
ටිකක්‌ වේලා බලා සිට නැවත ආපසු එන්නට සිදුවන අවස්‌ථා ද ඇත.
නිවට සේවකයෝ අදිසි බලධාරියාට කේලාම් කීම පුරුද්දක්‌ කර ගෙන සිටියහ. ඇස්‌. ද ඇස්‌. ජයසිංහ මහතාගේ සොහොයුරන් වූ 'ආරච්චි' සහ 'ගෝරිං' ගේ චණ්‌ඩි මුළු කොම්පැනියේම අදිසි බලධරයෝ වූහ. ලංකාවේ අනෙක්‌ බස්‌රථ සමාගම්වල ද තිබුණේ මෙම ප්‍රචණ්‌ඩ මැරවර පසුබිම ය. 


බස්‌ ජනසතු සේවාව සම්බන්ධයෙන් උපදෙස්‌ ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ගමනා ගමන විශේෂඥ ඇල්. ඩී. හෝකින්ස්‌ මහතා රජය මගින් ගෙන්වා ගත්තේය. ඒ මහතා ලංකා ගුවන් විදුලි සේවාව මගින් පැවැත්වූ සාකච්ඡාව 1957 මාර්තු මස 11 වැනි සඳුදා දිනමිණ විශේෂ අතිරේකයේ සඳහන් කරන ලදී. එම දීර්ඝ සාකච්ඡාවේදී පළ කළ අදටත් ගැලපෙන කොටසක්‌ සිහිපත් කරමු.

"මගීන්ගේ ඕනෑ එපාකම් අනුව ඔවුන් සඳහා ගමනා ගමන පහසුකම් සැලසීම මහජන ගමනාගමන සේවා ඇති කිරීමේ මුල් පරමාර්ථයයි. ගමනා ගමන කටයුතු පිළිබඳව පොදු සංවිධානයක්‌ ඇති කිරීමේදී එයින් ඉටුවිය යුතු පළමුවන රාජකාරිය මඟීන්ට ඕනෑ අන්දමට සේවයක්‌ පිළියෙල කිරීමයි. එම සංවිධානයේ කටයුතු කරන නිලධාරි මණ්‌ඩලයේ ඕනෑ එපාකම් ගැන සැලකිලිමත් වීම ඊළඟට සිදුවිය යුතුයි. එම නිලධාරි පිරිසට සෑහෙන වැටුප් ගෙවීම හා අවශේෂ පහසුකම් සැලසීම අමතක නොකළ යුතුය. සංවිධානය මුදල් අතින් ලාබ ලබන එකක්‌ බවට පෙරළීම සිතිය යුත්තේ මින් පසුවය.
ලන්ඩන් නගරයත් ඒ අවටත් ගමනාගමනය පිළිබඳව කටයුතු කරන ලන්ඩන් ගමනාගමන මණ්‌ඩලය පිළියෙල වී ඇත්තේ ඉහත කී කරුණු අනුවය.''



1957 දෙසැම්බර් මස 12 දා මධ්‍යම රාත්‍රියේ ලංකාවේ බස්‌ සමාගම් 76 ක්‌ ම 1957 අංක 48 දරන මෝටර් වාහන පනත යටතේ ජනසතු කෙරිණි. මෙම සමාගම් 76 ට අයත් බස්‌ රථ සංඛ්‍යාව 3400 කි. සේවක සංඛ්‍යාව 15,226 කි. හොරණ ප්‍රදේශය තුළ ධාවනයෙහි යෙදුණු ප්‍රධාන බස්‌ සමාගම් හතර ජනසතු වීමත් සමඟ එහි සේවය කළ සියලු දෙනා ලංකා ගමනාගමන මණ්‌ඩලයට අනුයුක්‌ත කෙරිණි.

1958 ජනවාරි මස 01 වැනි දින උදා වූයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ උණුසුම් උද්යෝගයත් සමගිනි. කොළඹ ගාලු මුවදොරදී ප්‍රධාන උත්සවය පැවැත්වෙද්දී ඊට සමගාමීව හොරණ ඇතුළු සියලු නගර ගම් නියම්ගම්හි බස්‌ ජනසතු කිරීම සමරමින් උත්සව මාලාවක්‌ පැවැත්විණි. හොරණ ප්‍රදේශයේ සේවක කණ්‌ඩායම් දේශපාලන නායකත්වයේද සහයෝගයෙන් හොරණ නගරයේ මහ කිරිබත් මංගල්‍යයක්‌ ද පැවැත්වීය. 


ඒ සමගම ගාමිණී බස්‌ සමාගම සම්බන්ධයෙන් විශේෂ පුවතක්‌ පැතිර ගියේය. මාස කිහිපයකට පළමු එම කොම්පැනිය මගින් ධාවනයෙහි යෙදවූ ඉන්ටර්නැෂනල් බස්‌ හතර රජයට භාර නොදී සඟවා ඇති පුවතයි ඒ. ලංගම විමර්ශන අංශයත් පොලිසියත් ඒ ගැන පරීක්‍ෂණ පවත්වන අතරතුරේදී සේවකයන්ගෙන් ලද ආරංචියක්‌ මත ඇරැව්වල පන්නිපිටිය බද පෙදෙසක තිබී මෙම බස්‌ හතරම සොයා ගන්නා ලද බව පසුව වාර්තා විය.

දීර්ඝ කාලයක්‌ පුරාම අඛණ්‌ඩව පැවැති කිසියම් සිද්ධි දාමයක්‌ දින දෙක තුනක්‌ ඇතුළත සම්පූර්ණ වෙනසකට භාජනය වන්නේ නැත. ජනතා සන්තක බස්‌ සේවය සම්බන්ධයෙන් ද එම න්‍යාය, එම ආකල්පය පොදු ය. මේ ගැන අවබෝධ කර ගත් හොරණ ප්‍රගතිශීලී ජනතාව ලංගම ආරක්‍ෂා කර ගැනීමට මූලිකත්වය ලබා දෙමින් හොරණ බස්‌ මගීන්ගේ සංගමය පිහිටුවා ගත්හ. හොරණ අඟුරුවාතොට පාරේ අංක 89 දරන ස්‌ථානයෙහි ලිපිනය දක්‌වමින් හොරණ බස්‌ මගීන්ගේ සංගමය මගින් මගී ජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ ද ආරම්භ කළේය. එම සංගමයේ පත්‍රිකා අංක 1 මගින් ලංගම ආරක්‍ෂා කර ගැනීමත්, බස්‌ සේවකයා හා මගියා අතර සුහද සම්බන්ධතාවක්‌ ඇති කර ගැනීමටත් අදාළ උපදෙස්‌ මාලාවක්‌ ද ලබා දී ඇත.

ලංකාව පුරාම මෙබඳු බස්‌ මගීන්ගේ සංගම් ආරම්භ කෙරිණි. රයිගම් - පස්‌යොදුන් කෝරළ දෙකට අයත් බස්‌ මඟීන්ගේ සංගම් දෙකෙහි නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසු රයිගම් - පස්‌යොදුන් එක්‌සත් බස්‌ මගීන්ගේ ඒකාබද්ධ සංගමය පිහිටුවා ගන්නා ලදී. ඒ සංගමයේ කාර්යාලයත් පැවතුණේ අඟුරුවාතොට පාරේ අංක 89 දරන ස්‌ථානයෙහි ය.

එම සංගමය මගින් හොරණ සිට ධාවනය කෙරෙන බස්‌ රථ මගින් ධාවනය කළ සටහනක්‌ මුද්‍රණය කර මගී ජනතාව අතර බෙදා දීමට ද ක්‍රියාත්මක විය.


සටහන - බන්දුල ආර්. ගුලවත්ත

2 comments:

  1. වටිනා සටහණක්.ෆොටෝ එකේ බංඩාරනායක මහත්තයාත් එක්ක ඉන්න අය දන්නවාද?
    අර ටිකට් එකේ 1/1/58 දිනය සමග ඇති අත්සන කාගේද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. ඒ පිළිබඳව නිසි සටහනක් නැහැ. ටිකට්පත්‍රය පිළිබඳව වැඩි විස්තර ලබාදෙන්න උත්සාහ කරන්නම්.

      Delete