May 10, 2014

සූරාකෑමේ යුගයක අවසානය | The End of an Exploitation Period.

පසුදින පටන් ශ්‍රී ලංකාවේ බස් සේවය ජනසතු කිරීම පිළිබඳව  1957 දෙසැම්බර් 31 වැනිදා එවකට ගමනාගමන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මැතිතුමා විසින් නිකුත්කරන ලද විශේෂ සන්දේශය.

                        
                                   "සූරාකෑමේ යුගයක අවසානය"

අද වනාහි ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සටහන්කර තැබිය  යුතු දිනයකි.1956 අප්‍රේල් මාසයේදී පැවැත්වුණු මහ මැතිවරණයේදී මේ ආණ්ඩුව විසින් ස්වකීය ඡන්ද දායකයන්ට දෙන ලද පොරොන්දු ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවේ බස් රථ සේවාව ජාතිය සතුවන්නේ ය.
අද රාත්‍රියේ සිට සූරාකෑමේ යුගය අවසන් වන්නේය.
ඒ එක්කම බස් රථ සේවය අපේය ,අපගේය යනුවෙන් උදම් ඇනීමට මෙරට වැසියන්ට අවස්ථාවක් ලැබෙන්නේය.
බස් රථ සේවය අපේය.
ඒය අපේ පෞද්ගලික දේපළක් මෙන් ආරක්ෂාකළ යුතුය යන හැඟීමක් අද අපේ රටවැසියන්ගේ සිත් සතන් තුළ පහළ විය යුතුය. පහළ කරගත යුතුය. 
අද පටන් බස් රථ සේවය රටවැසියන් සතු දේපළක් බව මෙනෙහි කරමින් බස් රථ සේවය දියුණුවෙන් දියුණුවට පත්කරලීම  සඳහා ගමනා ගමන මණ්ඩලයට හැම සහයෝගයක්ම දිය යුතු අතර ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි කරදර අලාබහානි ඉවසා දරාගතයුතු බවද රටවැසියන් විසින් තරයේ සිත්වලට ගතයුතුවේ.
එක් ‍රැයකින් මේ බස් රථ සේවය සම්පූර්ණ සර්ව‍තෝභද්‍ර සේවයක් බවට පමුණුවාලිය හැකියැයි බලාපොරොත්තු නොවුණ මැනවි. එමෙන්ම  එකවරම ලාබ උපදවන සේවයක් වෙතැයි නොසිතනු මැනවි.මෙම කාරණය මහජනයා විසින් සිත්හි තබාගත යුතුයි. ඒ එක්කම බස් රථ සේවකයන්ද අද සිට තමන් පෞද්ගලික ව්‍යාපාරිකයන් යටතේ සේවය  කරන්නන් නොවන බව සිතවලට ගතයුතුය. ඒ  ඔවුන් සම්බන්ධයෙන්ද කියන්නට ඇත්තේ සූරාකෑමේ යුගය අද සිට අවසන් වූ බවයි. සේවය අතින් පමනක නොව ඔවුන් සේවය කරන මහජනයා සම්බන්ධයෙන්ද  ඔවුන් පිට ලොකු වගකීමක් පැවරී ඇත්තේය. බස් රථ සේවයේ දක්ෂතාව හෝ අදක්ෂතාව ‍රැඳී ඇත්තේ ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය උඩය.

පසු දැක්ම
මීට අඩසියවසකටත් වඩා ඉහතදී කරනලද ප්‍රකශනයක් වුවද එතුමා විසින් පවසන මේ අදහස් එදාටත් වඩා වර්ථමානයට හොඳින්ම ගැලපෙනවා නොවේද ?

No comments:

Post a Comment