SLTB




ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය.

ඉතිහාසයෙන් බිඳක්...

1957 අංක 48 දරණ ගමනාගමන මණ්ඩල පනත සම්මත වීමෙන් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල රජයට පවරාගෙන ජනසතු කරන ලද අතර, 1958 ජනවාරි පළමුවැනිදා ''ලංකා ගමනාගමන මණ්ඩලය'' පිහි‍ටුවිණි.

එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක (S.W.R.D.Bandaranayaka) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එවකට ගමනාගමන සහ විදුලිබල අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක(Maithripala Senanayaka)මහතා සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ පළමු සභාපතිවරයා වූ වී.ඒ.එච්. ද මෙල් (V.A.H.de Mel) මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ලංගමය පිහි‍ටුවීමේ නිල උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස මෙරට පළමු ජනසතු බස් ඩිපෝව වන නිට්ටඹුව ඩිපෝවට අයත් 22 ශ්‍රී 1087 බස් රියට නැග ගමන්කොට, මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක නියමුවා වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාරම්භය සනි‍ටුහන් කළෝය.

මේ සමගම, එවකට පැවති පුද්ගලික බස් සමාගම් 76 කට අයත්ව පැවති බස් 3400 ක් සහ සේවක සේවිකාවන් 15000 කට පමණ රාජ්‍ය සේවයට ඇතුළත්වීමට වරම් හිමිවිය.

තමන් ගමන්මගේ 20වැනි වසර  ගෙවෙන විට, එනම් 1978 දී ලංකා ගමනාගමන මණ්ඩලය, ''මධ්‍යම ගමනාගමන මණ්ඩලය'' ලෙස නම වෙනස් කරනලද අතර එතෙක් තනි ආයතනයක් ලෙස පැවති එය, ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09ක් බවට විමධ්‍යගත කරනලදී
මේ සමගම 1978 දි නැවතත් පුද්ගලික අංශයට මගී ප්‍රවාහනයේ යෙදීමට අවසර හිමිවිය.

1987 අංක 23 දරණ ජනතාසන්තක ප්‍රවාහන සේවා පනතට අනූව, නැවතත් 1990 දෙසැම්බර් 18 දින සිට එවකට පැවතියාවූ බස් ඩිපෝ, ස්වාධීන බස් සමාගම් බවට පත් කරන ලද  අතර, ඒ අනූව ජනතා සන්තක බස් ඩිපෝ 93 ක් ඇති කෙරුණි. 
ඒ සමගම ලංගමයේ නාමය ''ජනතා සන්තක ප්‍රවාහන සේවය'' යනුවෙන් වෙනස් විය.

මෙසේ පිහි‍ටුවනු ලැබූ ජනතා සන්තක ප්‍රවාහනසේවය අපේක්ෂිත ආකාරයට සාර්ථක නොවීම හේතුවෙන්, නැවතත් 1996 අංක 30 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත(සංශෝධිත)  මගින් ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් බෙදා, පොකුරු බස් සමාගම් පිහි‍ටුවනු ලැබිණි. කෙසේවුවද එවකට පැවති උතුරු ප්‍රාදේශිකය මෙසේ වෙනස් නොකර මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේම පාලනය කෙරුණි. මෙයාකාරයට පොකුරු බස් සමාගම් 11 ක් පිහි‍ටුවිණි.

1958 දී පිහි‍ටුවනු ලැබූ ලංගමය විවිධාකාර වෙනස්වීම් වලට මුහුණදී, නැවතත් 2005 දී සම්මත කරගත් 2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත  අනූව, එවකට පැවති පොකුරු බස් සමාගම් සියල්ල විසුරුවාහැර නැවතත් ආරම්භයේ පැවති පරිදිම සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනයවන පරිදි මධ්‍යගත කර ''ලංකා ගමනාගමන මණ්ඩලය'' පිහි‍ටුවනු ලැබිණි.  
පසුව මෙම නාමය ''ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය'' වශයෙන් වෙනස් කෙරුණි.


ශ්‍රී ලංගමයේ නාමය වෙනස්කම් වලට ලක්වූ ආකාරය.


1) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1958 – 1977 ]

2) ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය [ 1977 – 1983 ]

3) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1983 – 1991 ]

4) ජනතා සන්තක ප්‍රවාහන සේවය [ 1991 – 1997 ]

5) පොකුරු බස් සමාගම් [ 1997 – 2005 ]

1.      කොළඹ මෙට්‍රොපොලිටන් බස් සමාගම
2.      ගම්පහ බස් සමාගම
3.      රජරට බස් සමාගම
4.      සබරගමුව බස් සමාගම
5.      නුවර එළිය බස් සමාගම
6.      කළුතර බස් සමාගම
7.      මහනුවර බස් සමාගම
8.      රුහුණ බස් සමාගම
9.      ඌව බස් සමාගම
10. වයඹ බස් සමාගම
11. නැගෙනහිර බස් සමාගම

6) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය [ 2005 සිට මේ දක්වා ]

No comments:

Post a Comment