පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙරටට ගෙනා අධි සුඛෝපභෝගී බස් රථ වලින් 68ක් පොදු මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීම මෑතකදී සිදුවිය. එම බස් රථ මේ වනවිට අධිවේගී මාර්ග වලත් , සංචාරක වැදගත්කමකින් යුතු ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගෙනත් ධාවනයට යොදා ඇත.මේ එම බස් රථ භාවිතය පිළිබඳ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ ධාවන කළමණාකරු විජිත ජයසුන්දර මහතා සමඟ සිදුකළ සංවාදයකි.
![]() |
විජිත ජයසුන්දර මහතා |
දැනට අධිවේදී මාර්ග වල බස් කිහිපයක් ධාවනයට යොදවා තිබෙනවා. ඊට අමතරව අපි විශේෂ ගමන් බිමන් සංචාර සඳහා (විශේෂ චාරිකා) කුලී පදනම මත ලබාදීමට බස් රථ කිහිපයක් වෙන්කර තිබෙනවා.
අපි අලුතින්ම ආරම්භකළ සේවාව තමයි සංචාරක ප්‍රදේශ ආවරණය වෙන්න දිනපතා බස් රථ සේවයක් කොළඹ පිටකොටුවෙන් ක්‍රියාත්මක කිරීම.
අපට ලැබුණු බස් 68ක් මේ අයුරින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය නමින් වන නව ඒකකය මගින් පාලනය කරනු ලබනවා.
අධිවේගී මාර්ගවල කඩුවෙල-මාතර , කඩුවෙල-ගාල්ල , මහරගම-මාතර , මහරගම-ගාල්ල , මීගමුව-කොළඹ , මීගමුව-කටුනායක ආවරණය වන පරිදි බස් සේවා පවත්වාගෙන යනවා.
ඊට අමතරව කුරුණෑගල-මහනුවර , කල්පිටිය-කොළඹ , පුත්තලම-කොළඹ , කුලියාපිටිය-කොළඹ , හලාවත - කොළඹ මාර්ග වලත් මේ බස් රථ ධාවනයට යොදවා තියෙනවා.
සංචාරක ප්‍රදේශ ආවරණය වන ලෙස ආරුගම්බේ-කොළඹ , පාසිකුඩා-කොළඹ , කල්පිටිය-කොළඹ , තංගල්ල-කොළඹ , බදුල්ල-කොළඹ දක්වා බස් රථ සේවාවන් දිනපතා ක්‍රියාත්මක වෙනවා.සාමාන්‍ය ජනතාවට ආසන වෙන්කිරීමකින් බස් රථ සේවාව ලබාගත හැකියි.
ඔව්. දිනපතා කොළඹ පිටකොටුව ප්‍රධාන බස් රථ ගාලෙන් පාසිකුඩා දක්වා ධාවනය වන බස් රථය රාත්‍රී 9.00ටත් , බදුල්ල දක්වා ධාවනය වන රථය රාත්‍රී 11.00ටත්, ආරුගම්බේ දක්වා වන බස් රථය රාත්‍රී 7.00ත්, කුලියාපිටිය බස් රථය සවස 3.00ටත්, තංගල්ල බස් රථය සවස 2.00ටත් ක්‍රියාත්මකයි.
කොළඹින් පිටත්වන බස් රථ මෙන්ම එම ගමනාන්ත වල සිට නැවත කොළඹ දක්වා පැමිණෙන බස් රථත් එම වේලාවලදී කොළඹ බලා පිටත්වෙනවා.
*විශේෂ චාරිකා සඳහා ලබාදෙන බස් රථ පිළිබඳව යමක් සඳහන් කළොත්?
දේශීය විදේශීය සංචාරකයන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා වෙනම බස් 15ක් අපි වෙන්කර තිබෙනවා.මේ බස් රථ අධි සුඛෝපභෝගී බස් රථයි. ආරක්ෂිත බඳපටි සහිත ආසන , රූපවාහිනී, වීඩියෝ පට නැරඹීමේ පහසුව, ශීතකරණ , වායුසමීකරණ පහසුකම් , තමන්ටම පාලනය කරගතහැකි කියවීමේ ලාම්පු ආදී පහසුකම් රැසක් මේ බස් රථවල පවතිනවා.
මෙම රථ සහනදායී මිල ගනන් යටතේ විශේෂ චාරිකා සඳහා ලබාදෙනවා.
*සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගත් බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තු පිළිබඳ යමක් කීවොත්?
කොළඹ සිට පාසිකුඩා දක්වා රුපියල් 800 ක්, බදුල්ල කොළඹ රුපියල් 750 ක්, ආරුගම්බේ දක්වා රුපියල් 1000 ක් වැනි මුදලක් එක් අයෙකුගෙන් අයකරනවා.
*මෙම බස් රථ සේවාව ලබාගැනීමට කොළඹටම පැමිණිය යුතුද?
අපි දැනට Online හෝ දුරකථන මගින් ආසන වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වාදී නැහැ. ඉතා ඉක්මනින් එම සේවාව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට කොළඹින් ආසන වෙන්කරවාගැනීම කළයුතුයි. ගමන්ගන්නා දිනයේදීම ආසන වෙන් කරගත හැකියි. සති අන්තවල මගී තදබදයක් තිබුණත් අනෙක් දිනවල පහසුවෙන් අසුන් වෙන් කරගත හැකියි.
*මෙම මගී සේවාවට ලැබෙන ප්‍රතිචාර කොයිවගේද?
දැනට මේ සේවාව ක්‍රියාත්මක කර සති දෙකක් ඉක්මගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර මෙම සේවාවට තිබෙනවා. ඒ වගේම විදෙස් සංචාරකයන් පාසිකුඩා,ආරුගම්බේ දක්වා ගමන් කරන්න මෙම බස් සේවාව තෝරාගනු ලබනවා.
විශේෂයෙන් වෙනමම වාහනයක් කුලී පදනම මත රැගෙන මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට විශාල මුදලක් වැයවෙන නිසාත් , මේ බස් රථ තුළ පහසුවෙන් අඩු මුදලට සංචාරය කළහැකි නිසාත් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය මෙම සේවාවට ලැබී තිබෙනවා.

*පොදු මගී ප්‍රවාහනය සඳහා එක්කළ මෙම බස් රථ රැකගැනීම මගී වගකීමක් නේද?
ඇත්තටම අද සාමාන්‍ය ජනතාව සුඛෝපභෝගී දෑ වලට හුරුවෙමින් පවතිනවා. ඒත් එක්කම ඔවුන්ගේ යහපත් ආකල්ප ගොඩනැගෙමින් පවතිනවා. පෞද්ගලික වාහන වගේම පොදු ප්‍රවාහන මාධ්‍යත් ඔවුන් හොඳින් පාවිච්චි කරනවා. ඇත්තටම මගීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ බස් රථ රැකගන්නා ලෙසට. පිරිසිදුකම ආරක්ෂා කරන ලෙසට. අපි විශාල වියදමක් දරනවා මේ බස් රථ නඩත්තු කරන්න. ඒ නිසා දීර්ඝකාලීන ප්‍රයෝජන ගන්න ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරය තිබිය යුතුයි.
*යම් අයෙකුට හෝ ආයතනයකට විශේෂ චාරිකා සඳහා මෙම බස් රථයක් වෙන් කරගැනීමට කළයුත්තේ කුමක්ද?
සියලුම විමසීම් 0112-612 212 කාර්යාල අංකය ඔස්සේ මා ඇමතීමෙනුත්, එසේත් නැත්නම්, 0770 026 014 අංකයෙන් මා ඇමතීමෙනුත් සිදුකළ හැකියි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හඳුන්වාදිය හැකි මෙම බස් රථ සේවාව තුළින් රාජ්‍ය හෝ පෞද්ගලික අවශ්‍යතාවට එකම පහසුකම් සහිත බස් රථ ලබාදීමට අපට හැකියාවක් පවතිනවා.
______________________________________________________________________________
pix by Uthpala Dilhan |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. මෙම බස් රථය මාර්ග අංක 48 ඔස්සේ කාත්තන්කුඩි හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. මධ්‍යම බස් නැවතුමෙන් පිටත් වීම රාත්‍රී 9.00ට වේ.
______________________________________________________________________________
සංවාද සටහන- නදීශානි පතිරණ - [2014.07.14 "අද" ජාතික පුවත්පත]
ඡායාරූප - එෂාන් ප්‍රනාන්දු - [2014.07.14 "අද" ජාතික පුවත්පත]
උත්පල දිල්හාන් - sltbbus.blogspot.com
No comments:
Post a Comment