January 15, 2014

ශ්‍රී ලංගම යනු කුමක්ද?

" ශ්‍රී ලංගම යනු ජාතික සම්පතකි ! "


ශ්‍රී ලංගම යනු කුමක්ද යන්න මෙන්ම ඉන් සිදුවන  සේවය පිළිබඳව බොහොමයක් දෙනාට නිසි අවබෝධයක් නැත.කෙටියෙන් පවසන්නේ නම් ශ්‍රී ලංගම යනු තවත් එක් පෞද්ගලික ව්‍යවසායක් හෝ හුදු ව්‍යාපාරයක් නොවේ.එය මහජන සේවයක් හෙවත් ජාතික සම්පතක් සේ සැලකිය යුත්තකි.



අප එසේ පවසන්නේ හේතු සහිතවය.
අපේ රටේ බොහෝ ප්‍රදේශවල  - නගර මෙන්ම ගම්වලද - රාත්‍රී හතෙන් අටෙන් පසුව ගමන් කිරීමට මගීන්ට ඇති එකම පොදු ප්‍රවාහන සේවය වන්නේ "ශ්‍රී ලංගමය"යි. පෞද්ගලික බස් රථ බොහෝ විට ගමන් කරන්නේ මගීන් වැඩි ප්‍රමාණයක් මාර්ගයේ ගැවසෙන කාලයේදී පමණකි. රාත්‍රියේදී ධාවන කාලසටහන් ක්‍රියාත්මක වේදැයි සිතෙන තරමටම ඇතැම් මාර්ගවල මේ තත්වය උග්‍රය. එහෙත් අදාළ මාර්ගයේ මගීන් සිටියත් නැතත් ශ්‍රී ලංගම බස් රථ නියමිත වේලාවට ධාවනය වේ. බොහෝ මාර්ගවල  දිනයේ අවසන් බස් රථ පිළිබඳව සිහිපත් කිරීම මේ සඳහා ප්‍රමාණවත්ය.


දිවා කාලයේ වුවත් සාමාන්‍යයෙන් පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ නියමිත ධාවන කාලයට වඩා වැඩි කාලයක් ගනිමිනි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් 'කොට කොටා'ය. මේ නිසා මාර්ගයේ නිකරුණේ වැය වන්නේ මගී ජනතාවගේ වටිනා කාලයයි.
නො එසේනම්
, රටේ ඵලදායකත්වයයි.
එහෙත් ශ්‍රී ලංගම බස් රථ රටේ ජනතාව අතර සැලකිල්ලට ලක්ව ඇත්තේද ඒවායින්  වේලාවට ගමනක් යාහැකි නිසාය. නැත්හොත්
'කොට කොටා' මගීන් රස්තියාදු නොකරන නිසාය.

තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංගම මගින්(හෝ රජය විසින් ශ්‍රී ලංගම හරහා) ලබා දී ඇති විවිධ සහනයන්ය. පාසල් සිසුන් සඳහා ලබාදී ඇති පාසල් වාර ප්‍රවේශපත්‍ර මේ සඳහා ඇති හොඳම නිදසුනයි.මේ සහනදායී ක්‍රමවේදය නොවූයේනම් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව අතරින් වැඩි දෙනෙකුගේ දරුවන්ට පාසල් යාමට ඇති අවස්ථාවද අහිමි විය හැකිය.

එසේම ආර්ථික වශයෙන් ලාභදායී හෙවත් වාසි සහගත නොවන මාර්ගවල වැඩි වශයෙන් ධාවනය වන්නේ ශ්‍රී ලංගම බස් රථ ය. මෙවැනි මාර්ග වලට බලපත් ලබාදී ධාවනයට යෙදවූ පෞද්ගලික බස් රථවල හිමියන් උත්සාහ කරන්නේයහමින් ආදායමක් ලබාගත හැකි මාර්ගයකට මාර්ග බලපත්‍රයක් ලබා ගැනීමටය. එහෙත් මෙවැනි මාර්ගවල ලාභ අලාභ නොසලකාහරිමින් ශ්‍රී ලංගම බස් ධාවනය කරනු ලැබේ.

                 2010 වර්ෂය වනවිට ශ්‍රී ලංගමයේ බස් රථ ඇණිය 7746ක් බව මහ බැංකු වාර්ථාවේ සඳහන් වේ.  ශ්‍රී ලංගමය දිනකට ධාවනය කළයුතු බස් රථ ගණන 7131 කි. එහෙත් ඒ වර්ෂයේදී දිනකට සාමාන්‍යයෙන් ධාවනය කර ඇත්තේ බස් රථ 4441කි.මේ අනූව ධාවන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නොහැකිවීමෙන් ලාබ ලැබීම නොව වියදම් පියවාගැනීම පවා අපහසු වීම පුදුමයට කරුණක් නොවේ.

2005 වර්ෂයේදී ශ්‍රී ලංගම නැවත පිහි‍ටුවීමත් සමග  එහි ධාවන කිලෝමීටර් ගණන හා මගී කිලෝමීටර් ගණනේ යම් වර්ධනයක් සිදුව ඇත. නමුත් මෙහෙයුම් වියදම ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බැවින් අවසානයේදී සිදුවන්නේ මෙහෙයුම් අලාභයකි. 
අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංගම ඉතිහාසය තුළ එය (හා එහි අනුප්‍රාප්තික සමාගම්) ලාභ ලබා ඇත්තේ වසර කිහිපයකදී පමණක් බවය.1998 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කරන ලද "නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය" නම් වාර්ථාව අනූව ඒ 1962-1966 අතර කාලයේදී හා 1974 වර්ෂයේදී ය. මේ කෘතියේ 1997 දක්වා දත්ත ඇතුළත් වන අතර මහ බැංකු වාර්ථා අනූව 1998 සිට මේ දක්වා ශ්‍රී ලංගම හා එහි පූර්ව අවස්ථා මෙහෙයුම් අලාභයක් වාර්ථා කරයි.

මේ තත්වය නිසා ශ්‍රී ලංගමට රජය මගින් සහන ලබාදී තිබේ.වාර ප්‍රවේශ පත්‍ර සඳහා ලබාදී ඇති සහන සහ ලාභදායී නොවන මාර්ග සඳහා ලබාදී ඇති සහනාධාර මේ සඳහා නිදසුන් වේ.මහජන සේවයක් ලෙස මේඅ ආකාරයෙන්හෝ ශ්‍රී ලංගම පවත්වා ගැනීමට හැකිව ඇත්තේ  මේ නිසාය. වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනයට යෙදවිය හැකිනම් මෙම මෙහෙයුම් අලාභය අඩුකර ගත හැකිය.

ශ්‍රී ලංගමයේ මේ අලාභයට හේතු වී ඇති කරුණු බෙහෙවින් සාකච්ඡාවට ලක්වී ඇති දේ ය. අධික සේවක පිරිසක් සිටීම , දේශපාලන බලපෑම්, කළමනාකාරීත්වයේ අඩුපාඩු මේ තරින් ප්‍රකට කරුණු කිහිපයකි. එපමණක් නොව පුද්ගලික අංශයේ බස් රථ විසින් මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංගම බස් රථවල  ධාවන වාරවලට අවහිර වනසේ ධාවනය කෙරෙන අවස්ථා බොහෝවිට දැකිය හැක.

ජාතික සම්පතක් වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය  ඉදිරි පරපුර වෙනුවෙන් ‍රැකගතයුතු  ආයතනයකි. එය එසේ ‍රැක ගැනීමට නම් නිලධාරීන්,බලධාරීන් මෙන්ම සාමාන්‍ය ජන අප සැමද එකසේ ක්‍රියාත්මක විය යුතුය.


?සටහන - ධනේෂ් විසුම්පෙරුම

1 comment:

  1. Good work, for our public transporter.
    Keep it up.
    :-)
    -Ravi

    ReplyDelete