November 2, 2013

ශ්‍රී ලංගමේ කතාව

එතෙක් රික්ෂෝ, කරත්ත, ට්‍රෑම් කාර්..වැනි වාහන මගින් පමණක් සිදුවූශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනයට නව වෙනසක් ගෙනදෙමින් , පළමු වරට  ශ්‍රී ලංකාව තුළ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරභ වූයේ 1907 වසරේදීය.
හලාවත සිට කොළඹ දක්වා ධාවනය කෙරුනු පුද්ගලික  බස් රථයක් මගින් මෙම ඉතිහාසගත  ප්‍රවාහන සේවාව ආරම්භ විය.

වර්ථමානයේ මෙන්ම මීට සියවසකට  එපිටදීත්, මෙසේ ආරම්භ කෙරුනු පුද්ගලික බස් සේවය අධික ලාභය පි‍ටුපස දුවයන්නට පටන් ගැනීම නිසා , පොදු මගී ප්‍රවාහන සේවාවක තිබිය යුතු අවම පහසුකමක්වත් දකින්නට පැවතියේ නැත. කෙසේවුවද අධික ලාභ ලබන බස්  සේවය පිළිබඳව ඇස යොමාගෙන සිටි අනෙකුත් ධනවත් ව්‍යාපාරිකයනුත් තමන්ට හැකි පමනින් බස් රථ ආනයනය කර  මාර්ග ජාලයට එක්කරන්නට වූවෝය.  ඉක්මනින් ලාභ ලැබියහැකි ව්‍යාපාරයක් ලෙස "බස් රථයක් පාරට දැමීම" ඇති හැකි සියලුම දෙනා අතර පැතිර යන්නට විය. තම ඉඩ කඩම් විකුණා පළමු බස් රථය පාරට දැමූ අතීත පරම්පරාවල වර්ථමානය අදටත් දිවයිනේ සුවිසල් බස් ඇණියක් හිමි පුද්ගලික ව්‍යාපාරිකයන් ලෙස වැජෙඹෙන අයුරු දැක ගත හැකිය.

මෙසේ ඇතිවූ තරඟකාරීත්වය නිසාම ඉතා ඉක්මනින් ලංකාවේ බොහෝමයක් ප්‍රදේශකරා ඉතා ඉක්මනින් පුද්ගලික බස් සේවාවන් ව්‍යාප්තවීම සිදුවිය. ඒ වනවිට ලංකාව පුරාවට බස් සමාගම් 100කට ආසන්න සංඛ්‍යාවක් පිහි‍ටුවාගෙන පැවතුණි.

මෙසේ  ක්‍රියාත්මක වූ බස් සේවාවන්ට නිසි ගාස්තු ක්‍රමවේදයක් , නිසි ධාවන කාල රාමුවක් තිබුණේ නැත.එක් එක් බස් රථය බස් මුදලාලිගේ තීරණය අනූව උච්චාවචනය වන  ගාස්තු ක්‍රමවේදයක් මත ධාවනය වන ඒවා විය. එමෙන්ම මෙම බස් රථවල කිසිඳු ප්‍රමිතියක් තිබුනේද නැත. යාන්තමට මිනිසුන් පොදියක් පටවාගෙන ධාවනය කළහැකි මට්ටමේ රෝද හතරකුත් , ලෑලි තහඩුවකුත් පැවතියානම් එය බස් රියක් විය.  බස් සේවකයන්ද ඊට නොදෙවෙනි පුද්ගලයෝ වූහ. රියදුරු අසුනේ සිටියේ හොඳ්ට ඇඟපත ඇති චණ්ඩියෙකි.  බසය පැදවීමට අමතරව, ඕනෑම වේලාවක ඕනෑම වලියටක අත පෙවීමට හැකි පරිදි උල් කිනිස්සක්ද බඩතුරේ රඳවාගෙන  සිටීම එකල බස් රියදුරන්ගේ විලාසිතාවක් බඳු විය. සරම කැසපොට ගසාගෙන මේස් බැනියමක් හැඳ ටිකට් පොත කිහිල්ලේ ගසාගෙන සිටින කොන්දොස්තර තැනද කිසිවිටක රියදුරුට දෙවෙනි වූයේ නැත.

මේ ආකාරයට කිසිඳු නීතියක් රීතියක් නොමැතිව  වසර ගණනාවක් තිස්සේ මගී ජනතාව අසීමිත් ලෙස සූරා කමින්  එතකින්ද නොනැවතී පීඩාවට පත් කරමින් පැවති පුද්ගලික බස් සේවාව පිළිබඳව සත්‍ය වශයෙන්ම එකල ජනතාව තුළ පැවතියේ  කලකිරීමකි;කෝපයකි.

වෙනත් විකල්පයක් නොමැතිනිසා පුද්ගලික බස් රථවල ගමන් කරමින් සිටි ජනතාවට , 1956 මැතිවරණ සමයේදී මහජන එක්සත් පෙරමුණෙන් අපූරු පොරොන්දුවක් ලැබුණි. ඒ තමන් බලයට පත්කළහොත් "බස් ගමනාගමනය ජනසතු කරන බවයි".
සමගි එක්සත් පෙරමුණ බලයට පත්වී, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත්විය. සහසක් ජන පැතුමන් මල්ඵල ගන්වමින්  පෙර කී පොරොන්දුව ඉ‍ටුවූයේ 1958 ජනවාරි පළමුවැනිදාය. එතෙක් එක් එක් සමාගම් යටතේ ධාවනය වූ පුද්ගලික බස් සියල්ල  එදින පටන් ජනසතු සම්පත් බවට පත් කෙරුණි.
"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය" උපත ලැබූයේ එලෙසිනි.
"1957 අංක 48 දරන ගමනාගමන මණ්ඩල ආඥා පනත" මගින් බලය ලබා පිහිටවුණු ලංගම සිය මංගල ගමන් වාරය සිදුකරනු ලබන්නේද එදිනය.

නිට්ටඹුව ඩිපෝවට අයත් පළමු ජනසතු බස් රිය




1958 ජනවාරි පළමුවැනිදා  ගාලු මුවදොර පිටියේ පැවති විශේෂ උත්සවයකදී  එවකට ගරු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා නිට්ටඹුව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් 22 ශ්‍රී  1087 බස් රියට ගොඩවී ප්‍රවේශපත්‍රයක් මිලට ගෙන ගමන්  කිරීමෙන්, නිල වශයෙන් ශ්‍රීලංගම මාර්ග ධාවනය ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට එවකට ප්‍රවාහන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මැතිතුමා, ශ්‍රීලංගම ප්‍රථම සභාපතිතුමා වූ වියර් ද මෙල් මහතා ඇතුළු සමභාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.

ඉන් පසුව පොදු ප්‍රවාහනයේ මගී ජනයායේ යුගයක් ආරම්භ විය.එතෙක් පුද්ගලික අංශය අත පැවති ප්‍රවාහනයේ ඒකාධිකාරිය බිඳ වැටී සමස්ථ ශ්‍රී ලංකාව පුරාවටම එකසේ  විහිදුනු නියම ප්‍රමිතියකින් යුක්ත වූ රාජ්‍ය මාර්ගස්ථ මගී ප්‍රවාහනය පොදු මහජනයාට එක සේ සේවය සලසන්නට විය.ඈත එපිට දුෂ්කර ගම්බද මාර්ගවල පවා බස් සේවාවන් ක්‍රියාත්මක වන්නට විය.

ප්‍රථම ජනසතු බස් රියේ නැගුනු එවකට අග්‍රාමාත්‍ය එස්..ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා

මගී ප්‍රවාහනය පමණක් නොව , තැපැල් සේවා සැපයීම ඇතුලු භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ද ලංගමය මගින් මනාව ඉ‍ටු කෙරුනි.ඊට අමතරව පාසල් සිසු සිසුවියනට සහනධායී ගාස්තු යටතේ වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුව සැලසීම දස දහස් ගණනක් දැයේ දරුවන්ගේ අනාගත දිවියට මහත් ශක්තියක් විය.
1977 වර්ෂය වනවිට එනම් ලංගම සිය 19වන  සැතැපුම් කණුවට ළඟාවන විට , ලංගම සිටියේ සිය ස්වර්ණමය යුගයේය. කිසිදා නොතිබූ නොවූ විරූ දියුණුවක් රාජ්‍ය ප්‍රවාහන සේවයේ ඇතිව තිබුණි. එකල ලංගම සභාපතිධූරය දැරූයේ " අනිල් මුණසිංහ" නැමැති මහා දැවැන්ත චරිතය විසිනි. 

1978 වර්ෂයේදී ලංකා ගමනාගමන මණ්ඩලය , ම.ග.ම. හෙවත් මධ්‍යම ලෙසටත් අනතුරුව ප්‍රා.ග.ම නොහොත් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙසටත් කොටස් කර විමධ්‍යගත කරන ලදී. ලංගම නැමැති යෝධ ආයතනයට පහරක් එල්ල කරමින් 1978 දීම පොදු ප්‍රවාහනයේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමමින් ,පුද්ගලික අංශයටද පොදු ප්‍රවාහනයේ යෙදීමට නැවතත් අවසර හිමිවිය.
මේ අත්තනෝමතික තීන්දු තීරණත් සමඟම ලංගම කඩාවැටීම ආරම්භ විය. 1987 අංක 23 දරණ පණතට අනූව ජනතා සන්තක බස් සමාගම් ඇති කෙරුණි. මෙහිදී බස් ඩිපෝ වෙන වෙනම පාලනය වන සමගම් ලෙස විමධ්‍ය ගතකෙරුනි.

No comments:

Post a Comment