ඉඳින් එවන් ජනතාවක් කැවුම් කිරිබත් අනුභව කරමින් , රතිඤ්ඤා පුපුරුවමින් ජාතික උත්සවයක් සේ සැමරූ, එනමුත් අලුත් අවුරුද්දක්වත් වෙනයම් ජාතික උත්සවයක්වත් නොවූ දිනයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකින් හමුවන්නාවූ සුවිශේෂී දිනයකි.
1958 ජනවාරි 01 වැනිදාද එවන් ඉතා සුවිශේෂී දිනයකි.
එදා පොදු මහජනතාව කැවුම් කිරිබත් කෑවේ මහමග බස් නැවතුම් පොළවල සිටය.කඩපිල් වල සිටය,නැතහොත් මහමග බස් රථ තුළ සිටය.ඒ එතෙක් ජනතාව පීඩාවට පත්කරමින් අන්තනෝමතික ඒකාධිකාරයක් ගෙනගිය පුද්ගලික බස් සමාගම් සියල්ල අහෝසි කර එදින පටන් , බස් සේවාව ජනසතු කරමින්, "ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය" පිහිටුවීම සැමරීම උදෙසාය.
![]() |
ප්‍රථම ජනසතු බස් රියේ නැගුනු එවකට අග්‍රාමාත්‍ය එස්..ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා. |
බස් ගමනාගමනය ජනසතු කරනලද ආසියාවේ දෙවන රට ලෙස අපේ ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් කරමින් , එදත් අදත් හෙටත් එකසේ රටට දැයට සේවය සලසන "ජාතියේ ගමන් සගයා" හෙවත් ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටවනු ලැබූයේ මෙදිනය.
ශ්‍රී ලංගමය තරම් දුර්ජන සතුරු උවදුරු වලට ලක්වූත්,ලක්වන්නාවූත් තවත් එකඳු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් ලක්දිව නොමැති තරම්ය. ලංගම වූකලී පහර පිට පහර වැදී බිම ඇද වැටුනද , සුළු අවකාශයක් ලද සැණින් අතපය දිගහැර නැගිට ජව වේගයෙන් සිය ආත්ම ශක්තිය කැටිකොට තියුණු සටනක යෙදෙන්නාවූ ධීර වීර සෙන්පතියෙකු වැනිය.
ලංගම නැමැති යෝධ ආයතනයේ පවුරු පදනම් බිඳ දමනු රිසිවූ සතුරෝ විවිධ අවස්ථාවල ලංගමය කැබැලි වලට කඩාදැමුවෝය. ලංගම මගම බවටත් ඉන්පසු ප්‍රාගම බවටත් පත්කළෝය. පොකුරු බස් සමාගම් ඇතිකළෝය.
ජරාජීර්ණ් දේශ්පාලන බලාධිකාරියේ බලපෑමෙන් ධාවන් මාර්ග සින්නක්කරව ගමනාගමන කොමිසම් වල බලය ලැබූ බස් මුදලාලිලාට සින්නක්කරවම ලියා දුන්නෝය. මහමග රක්ත වර්නයෙන් දිවූ සුපිරි බස් ගර්භිත තත්වයට වර්ගකර ෆිනෑන්ස් මුදලාලිලාට තොග පිටින් විකුණා දැමුවෝය.
එසේ වුවද ,
සියළු බලපෑම් මධ්‍යයේ වෙනදා මෙන්ම ශ්‍රී ලංගමය දැන් නැවතත් සුපුරුදු ජවය ලබාගනිමින් සිටී.
පොදුජන අභිලාශය මුදුන්පත් කරනුවස් විසිවන් සියවසේ ශ්‍රී ලාංකීය ධරණි තලය මත යෝධයෙකු ලෙස නැඟීසිටින අභිමානවත්ජන මෙහෙවරක නියමුවා "ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයයි".
ඉඳින් අප මේ ලියන්නට යන්නේ ඒ මහා රාජ්‍ය ආයතනයෙ කතාන්දරයයි.
සොඳුරු ගමන් සගය;
වසත්කල නිමාවුවද,
චණ්ඩ තාපයෙන්
අසණි වර්ෂාවෙන් පීඩා විඳිමින්
අකම්පිතව නොසැලී සිටින ඔබ.
අපට සෙවණ සිසිල සුරැකුම දෙන
අපේ සොඳුරු ගමන් සගයාය
එසේ හෙයින්;
වසත්කල ගොලුවූ
තාරුණ්‍යයේ ගීතය
අප දැන් ගයමු...
ඔබ තවමත් තරුණයි :
No comments:
Post a Comment