July 17, 2015

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය - ඉතිහාසයෙන් බිඳක්


first nationalized bus of sri lanka_Nittambuwa_depot_SLTB_Sri_Lanka_Transport_Board_CTB_SLTB.02_i love_sltb
ශ්‍රී ලංකාවේ පළමු ජනසතු බස් රථය.
මෙය වර්ථමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුව පවතී.

1907 වර්ෂයේ දිනක කොළඹ සිට හලාවත දක්වා මගීන් සඳහා ගමන් පහසුව සලසමින් පුද්ගලික බස් රථයක් ධාවනය විය. එය මෙරට බස් මගී ප්‍රවාහන සේවාවේ ආරම්භයයි. මෙයාකාරයෙන් ආරම්භයේ පටන්ම පුද්ගලික අංශයේ ආධිපත්‍යයට නතුවූ මෙරට බස් සේවාවේ නියුතු බස් රථ සංඛ්‍යාව, 1940 - 1950 පමණ වන විට සංඛ්‍යාත්මකව ඉතා විශාල අගයයක පැවතියද, ඉන් සැලසුණු සේවාවේ ගුණාත්මක තත්ත්වය අතිශය පහළ මට්ටමකට ඇද වැටී තිබුණි. සාමාන්‍ය ජනතාවට වෙනත් විකල්පයක් නොතිබුණු නිසා, ඉතා අඩු පහසුකම් ඇති පුද්ගලික බස් රථවල ගමන් කරමින් බස් හිමියන් විසින් හිතුමතේ අයකළ අසාධාරණ ගාස්තු අත්විඳීමට සිදුව තිබිණි.

ජරාජීර්ණ මට්ටමට පත්ව තිබූ බස් ප්‍රවාහන සේවය, බස් මුදලාලිලාගෙන් ගලවාගෙන, ජනතාව වෙනුවෙන් සැබැවින්ම කැපවුණු නැවුම් ආකාරයේ රාජ්‍ය බස් සේවාවක් අරඹන බවට ලබාදී තිබූ පොරොන්දුවක් අනූව එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1958 ජනවාරි පළමුවැනිදා , ශ්‍රී ලංකාවේ බස් සේවාව ජනසතු කර, ''ලංකා ගමනාගමන මණ්ඩලය'' (වර්තමානයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) පිහි‍ටුවන ලදී.    1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත මගින් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කිරීමෙන් 'ලංගමය' පිහි‍ටුවීමත් සමග  ආසියාවේ බස් ගමනාගමනය ජනසතු කළ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එකතුවිය.


SLTB_CTB_I_LOVE_SLTB
ශ්‍රී ලංගමයේ සමාරම්භක උත්සවයේදී
සභාව අමතන එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා.

එතෙක් පැවති අශිෂ්ට මුදලාලිකරණයට ලක්වූ බස් සේවාව වෙනුවට රාජ්‍ය බස් සේවාවක් පිහි‍ටුවීමේ ප්‍රීතිය සාමාන්‍ය ජනතාව ඉතා ඉහළින් සැමරූ බව ඉතිහාස සටහන් වල වාර්තාවේ. අතීතයේ පටන් විවිධාකාර පීඩාවන්ට ලක්වූ මෙරට ජනතාව ප්‍රීතියෙන් මුසපත්ව සැමරූ දින ඇත්තේ කිහිපයකි. එසේ මහමග බස් නැවතුම්පොළවල් හි කැවුම්, කොකිස්, කිරිබත් පිස මහත් ප්‍රීතියෙන් සැමරූ දිනයක් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවූ දිනයද ඉතිහාසයට එක්ව තිබේ.
මෙයාකාරයෙන් මෙරට පොදු මගී ප්‍රවාහනයේ නියමුවා මෙන්ම, රාජ්‍ය අංශයේ යෝධ ජවයක් ඇති ආයතනයක්ද වූ ලංගමය පසුකාලීනව ඇතිවූ නොයෙක් බාධක කම්කටොලු මධ්‍යයේවුවද තවමන් නොසැලී ජනතාවට සේවය සලසනු ලැබේ. පෞද්ගලික බස් කෙතරම් පැවතියද, සැබවින්ම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය සලසන්නේ ලංගමය යි.
එය සැබවින්ම සේවාවකි.
පුද්ගලික බස් කෙතරම් ධාවනය වන්නාවූ මාර්ගයක වුවද, තවමත් දවසේ පළමු බසයත්, අවසාන බසයත් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වීමෙන්ම එය මනාව පැහැදිලිවේ.


දිගු ගමනක ආරම්භය...

1957 අංක 48 දරණ ගමනාගමන මණ්ඩල පනත සම්මත වීමෙන් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල රජයට පවරාගෙන ජනසතු කරන ලද අතර, 1958 ජනවාරි පළමුවැනිදා ''ලංකා ගමනාගමන මණ්ඩලය''පිහි‍ටුවිණි.

එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක (S.W.R.D.Bandaranayaka) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එවකට ගමනාගමන සහ විදුලිබල අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක(Maithripala Senanayaka)මහතා සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ පළමු සභාපතිවරයා වූ වී.ඒ.එච්. ද මෙල් (V.A.H.de Mel) මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ලංගමය පිහි‍ටුවීමේ නිල උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස මෙරට පළමු ජනසතු බස් ඩිපෝව වන නිට්ටඹුව ඩිපෝවට අයත් 22 ශ්‍රී 1087 බස් රියට නැග ගමන්කොට, මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක නියමුවා වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාරම්භය සනි‍ටුහන් කළෝය.
මේ සමගම, එවකට පැවති පුද්ගලික බස් සමාගම් 76 කට අයත්ව පැවති බස් 3400 ක් සහ සේවක සේවිකාවන් 15000 කට පමණ රාජ්‍ය සේවයට ඇතුළත්වීමට වරම් හිමිවිය.

first nationalized bus of sri lanka_Nittambuwa_depot_SLTB_Sri_Lanka_Transport_Board_CTB_SLTB.01
ශ්‍රී ලංකාවේ පළමු ජනසතු බස් රථය.
මෙය වර්ථමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුව පවතී.
තමන් ගමන්මගේ 20වැනි වසර  ගෙවෙන විට, එනම් 1978 දී ලංකා ගමනාගමන මණ්ඩලය, ''මධ්‍යම ගමනාගමන මණ්ඩලය'' ලෙස නම වෙනස් කරනලද අතර එතෙක් තනි ආයතනයක් ලෙස පැවති එය, ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09ක් බවට විමධ්‍යගත කරනලදී
මේ සමගම 1978 දි නැවතත් පුද්ගලික අංශයට මගී ප්‍රවාහනයේ යෙදීමට අවසර හිමිවිය.

1987 අංක 23 දරණ ජනතාසන්තක ප්‍රවාහන සේවා පනතට අනූව, නැවතත් 1990 දෙසැම්බර් 18 දින සිට එවකට පැවතියාවූ බස් ඩිපෝ, ස්වාධීන බස් සමාගම් බවට පත් කරන ලද  අතර, ඒ අනූව ජනතා සන්තක බස් ඩිපෝ 93 ක් ඇති කෙරුණි. ඒ සමගම ලංගමයේ නාමය ''ජනතා සන්තක ප්‍රවාහන සේවය'' යනුවෙන් වෙනස් විය.

මෙසේ පිහි‍ටුවනු ලැබූ ජනතා සන්තක ප්‍රවාහනසේවය අපේක්ෂිත ආකාරයට සාර්ථක නොවීම හේතුවෙන්, නැවතත් 1996 අංක 30 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත(සංශෝධිත)  මගින් ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් බෙදා, පොකුරු බස් සමාගම් පිහි‍ටුවනු ලැබිණි. කෙසේවුවද එවකට පැවති උතුරු ප්‍රාදේශිකය මෙසේ වෙනස් නොකර මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේම පාලනය කෙරුණි. මෙයාකාරයට පොකුරු බස් සමාගම් 11 ක් පිහි‍ටුවිණි.

1958 දී පිහි‍ටුවනු ලැබූ ලංගමය විවිධාකාර වෙනස්වීම් වලට මුහුණදී, නැවතත් 2005 දී සම්මත කරගත් 2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත  අනූව, එවකට පැවති පොකුරු බස් සමාගම් සියල්ල විසුරුවාහැර නැවතත් ආරම්භයේ පැවති පරිදිම සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනයවන පරිදි මධ්‍යගත කර ''ලංකා ගමනාගමන මණ්ඩලය'' පිහි‍ටුවනු ලැබිණි.  
පසුව මෙම නාමය ''ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය'' වශයෙන් වෙනස් කෙරුණි.

ශ්‍රී ලංගමයේ නාමය වෙනස්කම් වලට ලක්වූ ආකාරය.

1) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1958 – 1977 ]
2) ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය [ 1977 – 1983 ]
3) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1983 – 1991 ]
4) ජනතා සන්තක ප්‍රවාහන සේවය [ 1991 – 1997 ]
5) පොකුරු බස් සමාගම් [ 1997 – 2005 ]
1.      කොළඹ මෙට්‍රොපොලිටන් බස් සමාගම
2.      ගම්පහ බස් සමාගම
3.      රජරට බස් සමාගම
4.      සබරගමුව බස් සමාගම
5.      නුවර එළිය බස් සමාගම
6.      කළුතර බස් සමාගම
7.      මහනුවර බස් සමාගම
8.      රුහුණ බස් සමාගම
9.      ඌව බස් සමාගම
10. වයඹ බස් සමාගම
11. නැගෙනහිර බස් සමාගම

6) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය [ 2005 සිට මේ දක්වා ]

2 comments: